සිතන්නට යමක්

in Steem Sri Lanka3 months ago

සැමට සිසිලස ගෙනෙන සුභ දවසක් වේවා !!! මේ දවස්වල තියන අධික උෂ්ණත්වය එක්ක මෙහෙම ප්‍රාර්ථනාවක් කරල දවස පටන්ගන්න එක හොඳයි කියල මට හිතුනා. මම අද හිතුවා මට දකින්නට ලැබුණු දෙයක් ගැන, මට හිතුන අදහස ඔයාලත් එක්ක බෙදාගන්න. ඒකට හේතු පාදක වුණ චායාරූපය තමයි මේ පහතින් තියෙන්නේ.

20240309_100824.jpg

මේ චායාරූපයේ කොලපාට පුවරුවේ කූරු වලින් සවි කරල තිබෙන අවුල්සහගත කොටස් වලින් ඔබට කුමක් දකින්නට පුළුවන් ද?

හොඳින් බලන කෙනෙකුට නම් ඇස් දෙකක් දකින්නට පුළුවන් වේවි. නමුත් ඒක හේතු කරගෙන අපිට තීරණය කරන්න අමාරුයි මේ තිබෙන්නේ මිනිස් රූපයක් ද එහෙමත් නොමැතිනම් සත්ව රූපයක් ද කියල. මේ තියෙන්නේ මිනිස් රූපයක් කියලා උපකල්පනය කරත් අපිට සිතන්නට අපහසුයි නේද මේ තිබෙන්නේ පිරිමි රූපයක් ද නැතිනම් කාන්තා රූපයක් ද කියලා. එසේනම් මේ සිටින්නේ නිශ්චිතවම කවරෙකු දැයි කියා අපිට තීරණය කිරීම අපහසුයි. ඒ සඳහා මෙම චායාරූපය දෙස එක් කෝණයකින් නොබලා විවිධ කෝණයන් ඔස්සේ බැලිය යුතු වෙනවා. එසේ බලාගෙන යන විට එක් අවස්ථාවකදී මෙම චායාරූපයේ සම්පූර්ණ පෙනුම දකින්නට පුළුවන් වෙනවා. මේ පහතින් තිබෙන චායාරූපයේ තිබෙන්නේ ඒ අවස්ථාවයි.

20240309_100820.jpg

ඔබ සිතුවා ද මේ සිටින්නේ ලෝක ප්‍රසිද්ධ විද්යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතා කියලා? සිතුවේ නැහැ නේද.

ඉතින් මිත්‍රයිනි මේ සිද්ධිය අපේ එදිනෙදා ජීවිතයට වැදගත් පාඩමක් වෙනවා. සමාජයේ ගැවසෙන විට අපිට මුණගැසෙන විවිධාකාර පුද්ගලයන් දෙස අපි එක් කෝණයකින් පමණක් බලනවිට අපිට පෙනෙන්නේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය නොවේ. එනම් එක් කෝණයකින් පමණක් බලා ඔවුන් ගැන විනිශ්චය කිරීමට යාම නුවණට හුරු කරුණක් නොවේ. ඇතැම් අවස්ථා වල එක් දෘෂ්ටියකින් පමණක්ම පුද්ගලයකු විනිශ්චය කිරීමට හැකියාවක් නැතුවාම නොවේ. ඒත් ඒ අතලොස්සක් වූ අවස්ථාවන් වේ. හරියට ඉහත චායාරූපය සම්පූර්ණ ලෙස පෙනෙන කෝණය එකවරම දකින්නට ලැබෙනවා වගෙයි. එහෙත් වඩාත්ම සුදුසු දෙය වන්නේ ඔබට හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන පුද්ගලයන් හදුනාගැනීමට උත්සාහ කිරීමයි. එසේ වුවහොත් ඔබට ඇති වීමට ඇති බොහොමයක් වැරදි වැටහීම් අවම කරගන්නට පුළුවනි. පුද්ගල ආශ්‍රයේදී පමණක් නොව, මෙම සංකල්පය ඔබට එදිනෙදා ජීවිතයට එන ගැටලු වලටද ආදේශ කිරීමෙන් බොහොමයක් ගැටලු වල සැබෑ ස්වරූපය පහසුවෙන් හදුනාගත හැකියි.

අවසන් වශයෙන් මා කීමට උත්සාහ කළ අදහස ඔබට සරලවම ඉහත චායාරූපය හරහා තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්න ඇතැයි මා සිතනවා.

ස්තුතියි 🙏🙏🙏

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 67778.49
ETH 3811.60
USDT 1.00
SBD 3.53