අපේ ලොකු සර්
'ටීචර් ටීචර් අනේ සෙල්පියක් ගන්න ඕනි.' එහෙම කියන්නේ උදාර. ලොකු සර් ගාවට දුවගෙන ආපු රුචිර 'සර් සර් අපිට මහා ලොකු සමර්ථ ඕනි නැහැ, යන්තන් ගොඩ ගිහිල්ල තිබුණොත් ඇති' නිමක් නැතිව කියවනවා. උන් මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන කොල්ලෝ කෙල්ලෝ ටික. බන්දුලය අපි වටේම කැරකෙනවා. ඌට අපිව දාල යන්න දුක හිතිලා වගේ.
මගේ පාසලේ කොල්ලෝ කෙල්ලෝ හරිම දුප්පත්. ඒ වුනාට උන් ගති ගුණ අතින් හරිම යහපත්. චාමිකර දුවගෙන ආව මා ළගට 'මැඩම් මමයි වරුණයි මැඩම්ගේ කාරෙක ලග ඉදල සෙල්පියක් ගැහුවට කමක් නැද්ද? මම යන්තන් හිනාවෙලා ඔලුව වැනුවා. මිටෙන් හල කුරුල්ලෝ වගේ උන් දෙන්න දිව්වේ. අනේ මුන්ට තාම ජිවිතේ ගැන කිසි බරක් නැහැනේ. උන් දන්නේ අද හිනාවෙලා සතුටින් එන්න විතරයි.
ජූඩ් ගිහින් ප්‍රේමසර සර් ගාව දැවටෙන ගමන් කියනවා 'සර් මම විභාගේ පාස් වුණොත් වෙන කිසි ඉස්කෝලෙකට යන්නේ නැහැ මේකටමයි එන්නේ.' ප්‍රේමසරත් මොනවදෝ හිමින් ජූඩ්ට කියනවා. ඌ ඉතා ආදරෙන් ප්‍රේමසරගේ මුහුණ දිහා බලාන ඉන්නේ හරියට උගේ තාත්ත දිහා බලන් ඉන්නවා වගේ.
මගේ පාසලේ දරුවන්ගේ අම්මල තාත්තලාට දරුවෝ ගැන වගේ වගක් නැහැ. උන් ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. එවන්නම් වාලේ ඉස්කෝලෙට එවනවා.
අපරාදේ කියන්න බැහැ ප්‍රේමසර, කොල්ලෝ ටිකට කෙල්ලෝ ටිකට හරිම ආදරෙයි.
පාසල් වේලාවෙන් පස්සෙත් ගුරුවරු කැමති කරවාගෙන උන්ගේ මොළ වලට මොනවා හරි එබුවා. ඒ විතරක්ද සතියකට දෙසැරයක් ගුරුවරු හැමෝගෙම සහයෝගයෙන් පාසල් දරුවන්ට කෑම වේලක් පිළිසකර කරලා දුන්න. දරුවන්ට දක්වන සෙනෙහසත් එසේ මෙසේ එකක් නෙමේ. උන්ට හොද නරක මොකක්ද කියලා තේරෙන විදියට අනල කැව්වා.
ප්‍රේමසර මේ පාසලට විදුහල්පති වෙලා ආවාට පස්සේ පාසලේ ලොකු එළියක් දැල්වුණා. දරුවන්ට ප්‍රේමසර නිකන්ම නිකන් ලොකු සර් නෙමේ 'අපේ ලොකු සර්". අද ඔවුන් පාසලෙන් වෙන් වෙලා යන්නේ පුළුවන් කමකට නෙමේ ඒත් යා යුතුම නිසා. උන්ට පාසල දාල යන්න හරිම ලෝභයි වගේ.
කෙවින් දුවගෙන දුවගෙන මගේ ළගට ආව, 'මැඩම් අපි පොඩි පාටියක් ලෑස්ති කරලා තියනවා හරියටම 11.30 ට අපේ පන්තියට එන්න' කියාගෙන ඌ හැටට හැටේ තවත් ගුරුවරයෙක් හොයන ගියා. මගේ හිතටත් මහා දුකක් දැනෙනවා. අවුරුදු ගානක් අපිත් එක්ක අකුරු කියාපු, පණ ඉල්ලුවොත් ඒකත් දෙන්න ලෑස්ති කොල්ලෝ කෙල්ලෝ ටිකක් අපිට අහිමි වෙන්න යන්නේ. සෑම වසරකම අපි මේ වගේ කනස්සල්ලට පත් වෙන දවසක් එනවාමයි.
පාසල් අරින වෙලාව ලං වුණා. පන්තියේ අන්තිම පේළි වල හිටපු කොල්ලෝ කෙල්ලෝ එකා දෙන්න ඇවිත් අපේ දෙපතුල් ගාව වැද වැටිලා අපෙන් සමු ගන්නවා. ඒත් ඉස්සරහම පේළි වල හිටපු, අකුරු වලින් ගොඩ ගිය කාංචනාල, නිල්මිණිල, රේණුකාල, පැතුම්ල සහ විනෝද්ල පාසලට දැනෙනෙවත් නැති විදියට පාසලෙන් සමු අරන්. ඔහොම තමා හැමදාම පන්තියේ පිටි පස්සේ පේළියේ හිටපු කොල්ලෝ කෙල්ලන්ගේ තමා හොඳ හිත දැක්කේ.
අදර දරුවනේ උබලාට ත්‍රිවිධ රත්නයේ රැක වරණයි. එහෙම කිව්වට ඒ රැක වරණෙත් යන්නේ ඉස්සරහම පේළි වල හිටපු උන්ටම තමා. හිත හොඳ උන් හැමදාම බැට කනවා. අනෙක් උන් කොහොම හරි ගොඩ යනවා.