Movie Talk Episode 01 - Interstellar

source
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට කලාව කියන්නේ හොලිවුඩ් සිනමාවේ නිරන්තරයෙන් දකින්න ලැබෙන ශානරයක්. හැබැයි ඒ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂකයාගේ හදවතට සමීප වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒවා තාක්ෂණය සහ පිටසක්වල ජීවීන් පෙන්වන සීමාවට කොටු වෙනවා. නමුත් 2014 වර්ෂයේදී ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) විසින් අධ්‍යක්ෂණය කළ Interstellar චිත්‍රපටය ඒ සියලු සීමාවන් බිඳ දැමූ සිනමා කෘතියක්.
අද මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ තිරරචනා ව්‍යුහය, සිනමා ශිල්ප ක්‍රම, භෞතික විද්‍යාව සහ සංගීතය එකිනෙක මුසු කරමින් නෝලන් මේ සිනමා කෘතිය ගොඩනැගුවේ කොහොමද කියන එක පිළිබඳව විශ්ලේෂණයක් කරන්නයි.
ඕනෑම සාර්ථක තිරරචනාවක ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් විශාල පරිමාණයේ බාහිර ගැටුමක් අනෙක සංවේදී අභ්‍යන්තර ගැටුමක්. නෝලන් සහ ඔහුගේ සහෝදරයා වන ජොනතන් නෝලන් මේ දෙක එකට අමුණන්නේ ඉතාමත් අපූරු විදිහටයි. පෘථිවිය විනාශ වෙමින් පවතිනවා. මිනිස් වර්ගයා බේරාගැනීම සදහා වෙනත් මන්දාකිනියක ජීවත් විය හැකි ග්‍රහලෝකයක් සෙවීමේ මෙහෙයුම තමා මේකෙ බාහිර ගැටුම. මේකෙ අභ්‍යන්තර ගැටුම තමා පියෙකු (කූපර්) සහ දියණියක (මර්ෆ්) අතර ඇති ආදරය සහ වෙන්වීම. කූපර්ට මුළු ලෝකයම බේරගන්න නම්, තමන් පණ වගේ ආදරය කරන දියණියව දාලා යන්න සිද්ධ වෙනවා.
තිරරචනාවේ එන හැරවුම් ලක්ෂ්‍යය (Plot Point) වෙන්නේ කූපර් අභ්‍යවකාශයට යන්නේ ලෝකය බේරගන්න විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න ලෝකයක් හදලා දෙන්න කියන පෞද්ගලික වුවමනාව නිසයි.

source
මේ චිත්‍රපටයේ සිනමා ශිල්ප ක්‍රම සහ දෘශ්‍ය සෞන්දර්යය (Cinematography & Visual Realism) ගැන කතා කරොත්
Interstellar චිත්‍රපටයේ කැමරාකරණය භාරව කටයුතු කළේ Hoyte van Hoytema විසින්. නෝලන් සහ හොයිටේ මෙහිදී CGI (පරිගණක සජීවීකරණය) භාවිතය අවම කරන්න උපරිම උත්සාහ කරලා තියෙනවා.
ඒ නිසා ඔවුන් චිත්‍රපටයේ මුල් භාගයේ පෙන්වන බඩ ඉරිඟු වගාවන් සහ මහා දූවිලි කුණාටු (Dust Storms) නිර්මාණය කළේ සැබෑ ලෙසමයි. ඒ සඳහා ඔවුන් විශාල පංකා සහ විශේෂ දූවිලි වර්ග භාවිත කර තිබේ. එමගින් නළු නිළියන්ට සැබෑ ලෙසම ඒ පරිසරයට මුහුණ දීමට හැකි වූ නිසා ඔවුන්ගේ රංගනය ඉතා ස්වභාවික වී ඇත.
හොලිවුඩ් සිනමාවේ බොහෝ අධ්‍යක්ෂවරුන් කරන වැරැද්දක් තමයි අභ්‍යවකාශයේදී යානා පිපිරෙන ශබ්ද, එන්ජින් ශබ්ද ඇසෙන්නට සැලැස්වීම භෞතික විද්‍යාවට අනුව අභ්‍යවකාශයේ ශබ්දය ගමන් කරන්නේ නැහැ. නෝලන් මෙහිදී අභ්‍යවකාශ දර්ශන සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද (Silent) කිරීමට වගබලා ගෙන ඇත. යානයෙන් පිටත දර්ශන පෙන්වන විට ඇසෙන්නේ සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් පමණයි. එය ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්නේ මහා තනිකමක් සහ භීතියකි.
ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (Theory of Relativity) මෙතරම් ප්‍රබල ලෙස කතාවකට සම්බන්ධ කළ වෙනත් චිත්‍රපටයක් නැති තරම්ය. මෙහි එන මිලර්ගේ ග්‍රහලෝකය (Miller's Planet) පිළිබඳ දර්ශනය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම දර්ශනයක්.
ගාර්ගැන්ටුවා (Gargantua) කියන කළු කුහරයට (Black Hole) ආසන්නව පිහිටලා තියෙන නිසා මේ ග්‍රහලෝකයේ ගතවන එක පැයක් පෘථිවියේ වසර 7කට සමාන වෙනවා. අපි මේ දර්ශනය නරඹද්දී පසුබිමෙන් ටික් ටික් ගාන ශබ්දයක් (Ticking clock) ඇහෙනවා. සිනමා විශ්ලේෂකයින් සොයාගෙන ඇති ආකාරයට, ඒ ඇහෙන හැම ටික් ශබ්දයකින්ම පෘථිවියේ දවස් 17ක් ගෙවී යනවා. නෝලන් ශබ්දය භාවිත කරලා ප්‍රේක්ෂකයාට කාලය ගෙවී යන බියකරු බව දැනෙන්න සලස්වන්නේ අන්න ඒ විදිහටයි.
මිලර්ගේ ග්‍රහලෝකයේ පැය කිහිපයක් ගත කරලා කූපර් නැවත මව් යානයට එද්දී පෘථිවියේ වසර 23ක් ගතවෙලා. තමන්ගේ දරුවන් වයසින් මුහුකුරා ගිහින් එවපු වීඩියෝ පණිවිඩ කූපර් හඬමින් නරඹන දර්ශනය, මැතිව් මැකෝනහිගේ අතිවිශිෂ්ට රංගනය නිසා ප්‍රේක්ෂක ඇසට කඳුළු උනන අවස්ථාවක් බවට පත්වෙනවා.

source
සාමාන්‍යයෙන් අභ්‍යවකාශ චිත්‍රපට වලට පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික සංගීතය (Synthesizers) හෝ Orchestra සංගීතය හැබැයි නෝලන් හාන්ස් සිමර්ට චිත්‍රපටයේ Sci-Fi පැත්ත ගැන කිව්වේ නැහැ. ඔහු දුන්නේ පියෙකු සහ දියණියක අතර ඇති ආදරය ගැන ලියූ කෙටි සටහනක් විතරයි.
සිමර් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම තෝරාගත්තේ පල්ලියේ පයිප්ප ඕගනය (Pipe Organ) වේ. මේ වාද්‍ය භාණ්ඩය ක්‍රියා කරන්නේ මිනිස් ශ්වසනය වගේ, වාතය ඇතුළු කිරීමෙන්. මිනිස් වර්ගයාගේ අවසාන හුස්ම පොද සහ අභ්‍යවකාශයේ ඇති මහා හිස්බව නිරූපණය කරන්න මේ ඕගන නාදය සමත් වුණා.Cornfield Chase සහ No Time for Caution වැනි සංගීත ඛණ්ඩ චිත්‍රපටයේ ඇති ආතතිය (Tension) සහ ආධ්‍යාත්මික හැඟීම සිය දහස් ගුණයකින් තීව්‍ර කිරීමට සමත් වෙනවා.
චිත්‍රපටයේ අවසාන භාගයේදී කූපර් කළු කුහරය ඇතුළට වැටුණු සැනින් ඔහු පස්වන මානයක පිහිටි Tesseract එකක් තුළට පිවිසෙනවා. එය නිර්මාණය කර ඇත්තේ මර්ෆ්ගේ කුඩා කාලයේ කාමරයේ කාල රේඛාවන් (Timeline) එක තැනකට එකතු කරලයි. මෙහිදී චිත්‍රපටය දෙන ලොකුම පණිවිඩය තමයි, ආදරය කියන්නේ කාලය සහ අවකාශය හරහා ගමන් කළ හැකි අපට තවමත් විද්‍යාවෙන් මැනිය නොහැකි වෙනමම මානයක් යන්නයි. බ්‍රෑන්ඩ් (ඈන් හැත්වේ) චිත්‍රපටයේ මැද හරියේදී පවසන මේ අදහස අවසානයේදී කූපර් විසින් සනාථ කරනවා. ඔහු කාලය හරහා මර්ෆ්ට පණිවිඩය යවන්නේ ඔවුන් අතර ඇති ඒ ආත්මීය බැඳීම හරහායි.

source
Interstellar කියන්නේ සිනමා ශාලාවකින් නැගිටලා ආවාට පස්සෙත් දින ගණනාවක් යනතුරු මනසේ රැදෙන සිනමා නිර්මාණයක්. එය අපිට අපේ පෘථිවියේ වටිනාකම මිනිස් සබඳතාවල තියෙන ගැඹුර සහ විශ්වයේ තියෙන අද්භූත බව කියා දෙනවා. Interstellar චිත්‍රපටයේ ඔයා ගොඩක්ම ආසා කරන දර්ශනය මොකද්ද? මිලර්ගෙ ග්‍රහලෝකයේ දර්ශනයද, time travel කරන කොටසද, නැත්නම් වෙන දර්ශනයක් ද ඔයාගෙ අදහස් පහළින් Comment කරන්න. මේ වගේ සිනමා විශ්ලේෂණ කියවන්න කැමති ඔයාලා වෙනුවෙන් මන් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනටම එන්නම්.