අතීතයෙන් එන උණුසුම
සමහර වෙලාවට සමහර තැන් දැක්කම ඉස්සර එතනට ආව ගිය හැටි මතක් වෙනව. සමහර මිනිස්සු හම්බුනාම ඉතින් කොහොමද කාලෙකින් දැක්කේ..දැන් මොකද කරන්නේ..ඉස්සර මතකද.. වගතුග අහනව. සමහර සුවඳවල් තියෙනව ඒ වගේ අතීතය මතක් වෙන විදිහේ. ඉස්කෝලෙ සුවඳ, අවුරුදු සුවඳ, වෙසක් සුවඳ... බේබි ෂෙරමි සබන් සුවඳට මට මතක් වෙන්නේ දියතලාවේ ගුවන් හමුදා කඳවුරේ අපිට තිබුණ නායකත්ව පුහුණු වැඩසටහන. එහෙදි උදේ පාන්දර හතරට විතර සීතලේ වෙව්ල වෙව්ල ලොකු ටැංකි වලින් නාපු හැටි. මගේ ළඟ තිබුණේ බේබි ෂෙරමි සබන් කෑල්ලක්.
මං මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙමෙයි..
මේ දවස්වල ගොඩක් රස්නෙ නිසා මං හැමදාම හවසට බබාව එළියෙ ඉස්තෝප්පුවෙ පුටුවක තියාගෙන ඉන්නව. එයත් හරි ආසයි ගස් දිහා හුළඟ දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔහොම ඉන්නකොට ලස්සන අව්වක් වැටෙනවා. හවසට වැටෙන තද කහ පාට අව්වක්. ඒක එක දිගට තියෙන්නෙත් නෑ. යනව එනව. රස්නෙත් නෑ වැඩිය. යන්තම් හුළඟකුත් තියෙනව. කිසිම සද්දයක් නෑ. ඒ අව්ව දිගේ මං අතීතෙට යනව. මට ගෙදර මතක් වෙනව. ගෙදරටත් ඒ අව්ව වැටිල ඇති කියල මට හිතෙනවා. ඔය වගේම අව්වක් වැටිල තියෙද්දි ගෙදර ඉඳපු හවස් මතක් වෙනව. අම්මයි තාත්තයි අයියයි එක්ක වත්තට ගිහින් ආපු හැටි මතක් වෙනව. එහෙම තමයි ජීවිතේ.. මේ අහස ඉර හඳ යට ගෙවිල යනවා.. ඒ කාලේ නොහිතපු තැන් වල නොහිතපු විදිහට ඉන්න වෙනව. මෙයාටත් කවදාහරි මට වගේ හිතෙයි.. මං බබා දිහා බලාගෙන හිතනව..
අව්ව විතරක් නෙවෙයි වැස්ස, සීතල වෙලාවට උනත් මට ඉස්සර මතක් වෙනව.. කාලගුණේ එහෙමම තියෙද්දි අපි විතරක් වෙනස් වෙලා කියල හිතෙනවා.

සමහර සුවඳවල් අපි එක්ක හැමදාම ජීවත් වෙනවා
ඒක ඇත්ත!❣️