ඉර මැදියම - Sinhala Movie ReviewsteemCreated with Sketch.

in Steem Sri Lanka4 months ago

image.png
source

යුද්ධය කියන්නෙ හරි කුරිරු අද්දැකීමක්. අපි හැමෝම කැමති නිදහසේ ජීවත් වෙන්න. අපි කතා කරන් මේ මොහොතෙත් ලෝකයේ කොතැනක හරි යුද්ධයක් පවතිනවා ඇති. සිනමාකරුවා කියන්නේ හරි අපූරු කලාකාමියෙක්. ඔහු සමාජයේ තියෙන යථාර්ථය ඒ විදිහටම ප්‍රේක්ෂකයාට සමීප කරන්න ලොකු උත්සාහයක් දරනවා. අපේ රටේ සමහර නිර්මාණ තියෙනවා ජන වාර්ගික අරගලය ගැන කියවෙන චිත්‍රපට. ඉර මැදියම චිත්‍රපටයත් ඒ වගේ.

2005 වර්ෂයේ තිරගතවුණ "ඉර මැදියම" චිත්‍රපටය ප්‍රසන්න විතානගේ බිහිකළ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ ජනවාර්ගික ගැටලුව. මෙම නිර්මාණයෙන් සිනමාවේදියා යුද්ධයේ මතුපිට පෙන්වන්නේ නෑ. එහෙත් වචන සියදහස් ගණනකින් කියන්න බැරි යුද්ධයේ බිහිසුණු බේදනීය ඉරණම සිනමාපටය පුරාවටම නිරූපණය කරනවා. වෙඩි තැබීම්, ලේ හැලීම් හෝ ඝාතන මෙහි කිසිදු දර්ශනයක නැහැ. යුද්ධයෙන් ශාරීරිකව හානි සිදු නොවුනත් එයින් අධ්‍යාත්මික ව එල්ල වන බලපෑම හොදින් පෙන්නුම් කරලා තියෙනවා. ඒ සදහා යොදාගෙන තියෙන්නේ සීමිත චරිත කිහිපයක් වීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයට එකම කාල පරාසයක සිදුවන යුද්ධයත් එක්ක ඝෘජුවම බැදෙන සිදුවීම් තුනක් යොදාගෙන තියෙනවා. ඒ කොළඹ, අනුරාධපුරය සහ මන්නාරම කියන නගර වලින්. සිනමාවේදියා ඉතා දක්ෂ විදියට එම සිදුවීම් තුන එක රැහැන්පටකින් බැද ප්‍රේක්ෂකයින් හමුවට ගෙන යන්නේ එදින පැවැත්වෙන ක්‍රිකට් තරගයක උණුසුම් විස්තර ප්‍රචාරයෙන්.

MV5BYzgwZWViOGYtYjM0Ni00ZjQ1LWE3ZTktOTU2ZjgyYjkyM2RkXkEyXkFqcGdeQXVyMjAxNDEwMDE@._V1_.jpg
source

යුද්ධයත් එක්ක මිනිස්සුන්ට තමන්ට පාලනය කරගන්න බැරි සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ සිදුවීම් වලින් හැම කෙනෙකුගෙන්ම මොනවමහරි දෙයක් උදුරගෙන තියෙනවා. ඉර මැදියමෙන් කියන්නෙත් යුද්ධය නිසා තමන්ට පාලනය කරගන්න බැරි විවිදාකාර සිදුවීම්වලට මුහුණ දෙන චරිත තුනක් ගැන. මේ සිදුවීම් වලදී ඒ අයගේ සැමියා, සුරතලා සහ සොහොයුරිය යුද්ධය විසින් උදුරාගන්නවා. ඒත් අපේ ජීවිත වලින් මොන දේ උදුරගත්තත් තියෙන බලාපොරොත්තු අත්හරින්න බැහැ. අහිමිවීම් තුළ බලාපොරොත්තු අත්නොහැර ජීවිතය සමග පොරබදින චරිත වටා ගෙතුනු කතාවක් විදිහටත් මේ චිත්‍රපටය පෙන්වලා දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටයේ පළමුවෙනි සිදුවීම ගෙතිලා තියෙන්නෙ චමරි සහ මාධ්‍යවේදියෙක් වන සමන් අතර. චමිරිගේ සැමියා වන ගුවන් හමුදාවේ නියමුවෙකු වූ නිරොෂාන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රාණ ඇප කරුවෙක්. ඔවුන් මධ්‍යම පාන්තිකයන්. ඇයගේ එකම අභිලාෂය තමන්ගෙන් දුරස් වූ සැමියා බේරා ගැනීම. ඇය තනිව නිවාස සංකීර්ණයේ ඉන්නකොට එක උදෑසනක තරුණ ජනමාධ්‍යවේදියෙක් සහභාගි වන සජීවී වැඩසටහනක් නරඹනවා. ඒ මාධ්‍යවේදියා සමන්. ඔහු එල්.ටී.ටී.ඊ මාධ්‍ය ජාල වල පවා පුවත් ලබාගන්න පුලුවන් ජාත්‍යන්තර සබඳතා තියෙන මාධ්‍යවේදියෙක්. වැඩසටහනෙන් පස්සේ නිරෝෂන් බේරගන්න හොදම මාර්ගය සමන්ගෙන් උදව් ගන්න එක කියලා හිතුව චමරි පසුව සමන්ව මුනගැසෙන්න ඔහු නතරවෙලා ඉන්න හෝටලේට යනවා. චමරිගේ බලවත් ඉල්ලීම නිසාම අතිශය දුශ්කර අවදානම් සහිත ගමන්ක් වුනත් සමන් ඇයව යුද කලාපයට රැගෙන යන්න කැමති වෙනවා. ඔවුන් යන වෑන් එක තැන් කිහිපයකදිම යුදහමුදාවේ හෝදිසි කිරීම්වලට ලක් වෙනවා. ඔවුන් නිරෝෂන් ගැන පැහැදිලි තොරතුරක් දැනගන්න හුදෙකලා කුඩා දිවයිනකට ගියත් කිසිම තොරතුරක් දැනගන්න බැරි වෙනවා.

image.png
source

මෙම චිත්‍රපටයේ දෙවන සිද්දිය පටන්ගන්නේ මේ අවස්ථාවේදී ඒකට පාදක වෙලා තියෙන්නෙ යුදහමුදා සොල්දාදුවෙක් වෙන දුමින්ද මුහුණ දෙන සිද්දියක්. දුමින්ද ඇතුළු මිතුරන් කිහිපදෙනෙක් අනුරාධපුර නගරයේ නවාතැනකට යනවා. ඒක නවාතැනක් වගේම ගනිකා සේවය සපයන තැනක්. දුමින්දට අනපේක්ශිත විදිහට එහෙ ඉදලා එයාගෙ එකම නංගි ගණිකාවක් විදිහට මුණගැහෙනවා. ඒ සිද්දියෙන් දුමින්ද ලොකු මානසික පීඩනයකට ලක්වෙනවා. පසු දිනයේ ගෙදර ආව ඔහුට තමන්ගෙ නංගි ගෙදර ඉන්නවා දැකලා සැනසීමක් දැනෙනවා.

මෙම චිත්‍රපටයේ තුන්වෙනි සිද්දිය වෙන්නේ ත්‍රස්තවාදීන්ගේ දැනුම්දීමකට තම උපන් ගම් බිම්, වත්කම් ඇතුළු සියල්ල හැරදමා නැගෙනහිරින් පිටවී යන මුස්ලිම් ජනතාවයි. මෙම පලායන සරණාගතයන් අතර ඉන්න එක පවුලක සාමාජිකයන් වන හසන්, ඔහුගේ පුතා වන අර්ෆත් ඔහුගේ මව ප්‍රේක්ෂක අවධානයට ලක් වෙනවා. අර්ෆත් ට රෙක්ස් කියලා සුරතල් බල්ලෙක් ඉන්නවා. ඔවුන් ත්‍රීරෝද රථයක කලපුවට යද්දී රෙක්ස් ඒ පිටිපස්සේ කලපුවට එනකල්ම දුවගෙන එනවා. සරණාගතයන් හැමෝම බෝට්ටුවට ගොඩවුණත් රෙක්ස්ට ඒකට අවසරයක් නෑ. අර්ෆත් ට ගොඩක් දුකින් වුණත් රෙක්ස්ව දාලා කල්පිටියට යන්න වෙනවා. ඒ අවස්ථාවේදී අර්ෆත්ගේ වේදනාකාරී හඩ, භාව ප්‍රකාශන මගින් ප්‍රේක්ෂකයා තුළ සංවේදී බවක් ඇති කරනවා. ඔහු රෙක්ස් වෙනුවෙන් නගන නිහඩ චෝදනාව සහ තනිවම විදදරා ගන්නා වේදනාවා ඒකට හේතු වෙනවා. සමස්ත මුස්ලිම් ප්‍රජාවම මුහුණ දීලා තියෙන මේ බේදනීය ඉරණම ඉස්සරහ අර්ෆත් ට රෙක්ස්ව ගෙනල්ලා දෙන්න තරම් වැදගත් කමක් හසන් දකින්නේ නෑ. කල්පිටියේ අලුත් ජීවිතයකට ආව අර්ෆත් ට තවත් චූටි බලුපැටියෙක් මුනගැහෙනවා. බලු සුරතලා අහිමී වෙලා පාලුවෙන් ඉන්න අර්ෆත්ගෙ ජීවිතේට මේක ලොකු සතුටක්.

image.png
source

චමරි,දුමින්ද, අර්ෆත් කියන කිසිම කෙනෙක් පරාජය වෙන්න සූදානම් නෑ. මේ චිත්‍රපටයේ එන අවසාන දර්ශන මේ තත්ත්වය හොදින් ඉස්මතු කරලා පෙන්නනවා. අනුරාධපුරය බලා යන බස් රථයක ආසනයක චමරි ඉදගෙන ඉන්නවා. ඇය නිරෝෂන් සොයාගෙන තනිවම උතුරට යනවා. ඒ බස් රථයටම දුමින්ද කල්පිටියේදී නගිනවා. ඔහු යන්නේ යුද්ධයට. ධාවනය වෙන බස් රථයට ඉස්සරහින් බයිසිකලයක හසන් සහ අර්ෆත් යනවා. ඔවුන් නැවත වෙලදාමට යොමුවෙලා. කෙතරම් බාදක ආවත් ඒ හැමෝම තම තමන්ගේ ගමන නොනවත්වා යනවා.

ක්‍රිකට්, මෙම සිද්දි තුන සම්බන්ධ කරන්නත්, කාලය ගැන අදහසක් ලබා දෙන්නත්, ඒ වගේම එම ගැටලු සමාජයේ පොදු ගැටලු බවට පත් කරන්නත් උපක්‍රමයක් විදිහට භාවිතා කරලා තියෙනවා. බොහෝවිට යුද්ධය නිසා පැනනැගුනු තම තමන්ට විශේෂ වුන ගැටලු තියෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම මේ බේදවාචකයේ කොටස්කරුවෝ. වාර්ගික ගැටුම පාදක කරගෙන මෙරට බිහිවුන සිනමා කෘති අතරින් ඉර මැදියම සුවිශේෂී වෙනවා. ඒකට හේතුව වෙන්නේ සිංහල දමිළ චරිතවලට අදාල සිද්දි වලට පමණක් සීමා වෙන්නේ නැතිව මුස්ලිම් ජනතාවගේද ඔවුන් යුද සමයේ මුහුණ දුන් ගැටලු කතා කිරීම.

ප්‍රසන්න විතානගේ සිනමාවේදියාගේ නිර්මාණයක් වන ඉර මැදියම යුදසමයේ සමාජයේ අරගලය සහ ජීවන අරගලය හොදින් දෘශ්‍යමාන කරන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයෙන් අපට යුද්ධය නොදැක යුද්ධය අත්විදින්න පුලුවන්.මෙම චිත්‍රපටයෙන් යුද්ධයේ අමානුෂික බව, ව්‍යසනයට යටින් දැවෙන මනුශ්‍යත්වයේ වේදනාව, ජන වාර්ගික අරගලය හොදින් නිරූපණය වෙනවා.

ඉතින් තවත් මේ වගේම ආටිකල් එකකින් ඉක්මනටම අපි හම්බවෙමු.

Sort:  
 4 months ago (edited)

ප්‍රසන්න විතානගේ ගෙ movies වලට මම මාරම කැමතියි. මම මේක ගැන අහල තිබුණෙම නෑ. මල්ලි, මේක කොහොමද බලන්න පුලුවන්?

Meka Praveen aiyge film grp eke thinwa akke. telegram

Thank you malli ❤️

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.033
BTC 62199.58
ETH 3014.60
USDT 1.00
SBD 3.57