ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ..!

in Steem Sri Lanka3 years ago

සමහරක් සිංදු ජීවිතාශාව දල්වනවා. මේ ලෝකෙ තියෙන ඉතාම පුංචියට පේන දේවල් කඳු තරම් විසාල කරලා, ඒවයෙ සැබෑ විශාලත්වය අපේ ඇස් ඉස්සරහට අරගෙන එනවා. මල් සුවඳ, මී පැණි රස, මල් පියළි, රොන් සුවඳ, පුංචි දිය කඩිති, තිත්ත පැටවු ඇත්තටම මේ අහසට යටින් තියෙන මායාකාර බලයක් තියෙන දේවල් කියලා එකපාරටම හිතවන්න ඒ වගේ ගීත වලට පුලුවන්!

හොයාගෙන ඇහුවා නෙමෙයි. මේක අහම්බෙන් ඇහුණ ගීතයක්! සමන්ත පෙරේරා කියන්නෙ මං ආසම හඬක් තියෙන ගායකයෙක්. ඒ හඬින් ගැයුණු ඔක්කෝම සිංදු අතරින් මං දැන් ආදරේම සුවඳයි මල් සුවඳ සේ කියන මෙන්න මේ සිංදුවට. ශශිකා නිසංසලාත් එක්ක කියන ඔර්ජිනල් සිංදුවට වඩා මං ආස එයාගෙම දුව එක්ක ගායනා කරන මෙන්න මේ ගීතයට. ඒ හඬ, මේ සිංදුවේ තියෙන අහිංසකම අහිංසක පද රචනාව එක්ක නියමෙටම යනවා කියලයි මට හිතෙන්නෙ!

සංගීතය- ප්‍රේමසිරි කේමදාස
පද රචනය- ජැක්සන් ඇන්තනි

මල් පියළි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුලු පූදින්න වාගේ

වනාන්තරේක මල් කැකුලු පූදින්න යනකොට එන්නෙ මොන වගේ සුවඳක්ද කියලා මං දන්නෙ නෑ. ඒත් මේක ඇහෙනකොට ඉතාම ඉතාම සියුම් සුවඳක් මට මවාගන්න පුලුවන්. යන්තම් ඉර එළිය පොළොවට වැටෙන වෙලාවක, කුරුලු හදවත් ඒ ඉර එළිය ආදරෙන් පිළිගන්න මොහොතක මහපොළොවෙ සුවඳ!

දිය කඩිති නිල්බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාලුයි
පීනන්න දිය කඩිති ගානේ

තිත්ත පැටවුන්ට, දිය කඩිති වලට ඇති වෙන්න ආදරේ කරන කෙනෙක් මගෙ ඇතුළෙ ඉන්න නිසා මේ පද පේළියට මං පුදුම ආදරෙයි. තිත්ත පැටවු එක්ක යාලුවෙලා දිය කඩිති ගානෙ පීනන්න ආස මනුස්ස හදවතක් කියන්නෙ කිසිදාක වයසට නොගිය හදවතකට නෙමෙයිද?

මහන්සී දැනෙනවා නම් හතී වගේ නම් ටිකක් නැවතිලා මේ සිංදුව අහගෙන ඉන්න..
ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ...!

Sort:  

සිංදුව වගේම ඔයාගෙ මේ ලියවිල්ලත් හිත නිවනව..❤️

Thank you akka!❣️