නොදන්නා ගමනක දිනයක් - තෙවන කොටස - 5% to Sl Charity

in Steem Sri Lanka2 years ago

ඔන්න ඉතින් ජාත්‍යන්තර කම්කරු දිනය යෙදිලා තියෙන මැයි පළවෙනිදා මගේ කතාවේ තුන්වෙනි කොටස ගෙනෙන්න තමයි මං මේ හදන්නේ. මේ වෙනකොට අපි වැල්ලවාය නගරයට ආසන්නයි. එතන ඉඳලා කතාව මං ඉස්සරහට කියාගෙන යන්නම්. ලාවට එලිය වැටීගෙන එනකොට අපි වැල්ලවාය පහුකරා විතරයි. පොඩි කඩයකින් වඩයක් දෙකක් කාලා කෝපි කෝප්පයක් බීවම අපිට තිබුණු නිදිමත ගතියනම් අතුරුදහන් වෙලාම ගියා. ඒ කඩේ ලඟදි තමයි අපිට අපේ ඊළඟ නැවතුම ගැන ඉඟිය ලැබුනේ. කියපු විදියට අපිට ඊළඟට යන්න තියෙන්නේ මොනරාගලට. ඔන්න ඉතින් ඒ යන අතරමගදී අපි හැමෝම අපේ බයික්වලට අඩු ඉන්ධන පුරවාගන්න අමතක කරෙත් නැහැ.

WhatsApp Image 2022-05-01 at 12.32.17 PM.jpeg

වැඩි වෙලාවක් නොගිහින් මොනරාගලට එන්න අපිට පුලුවන් උනා. අපේ ඊළඟ නැවතුම උනේ සියබලාණ්ඩුව. ඒ ගමන අතරමගදී අපි උදේ ආහාරය ගන්න පොඩි වෙලාවක් ගතකලා. පොඩි කඩයක් උනාට කෑම ටිකනම් රසට තිබුනා. මං කෑවේ අපේ ජාතික ආහාරය වෙච්ච බිත්තර රොටි කපලා හොදි දාලා. කෑම එක කාලා ඉවරවෙද්දීම එක යාලුවෙකුට කෑම එකේ තිබිලා මැස්සෙක් හම්බුනු එක ඇරෙන්න වෙන කිසිම වරදක්නම් තිබුනේ නැහැ 😂😂 .

WhatsApp Image 2022-05-01 at 12.32.17 PM (1).jpeg

ඔන්න ඉතින් කෑමෙන් පස්සේ නව ජවයකින් අපි ආයෙත් ගමනේ. සියබලාන්ඩුවට පස්සේ අපේ ගමන් මාර්ගය යොමු උනේ ලාහුගල පැත්තට. වාහන ගොඩක්ම අඩු පාරක් නිසා අපිට ටිකක් ඉක්මනින් යන්නත් පුලුවන් උනා. ලාහුගල ජලාශය පැත්ත ගොඩක්ම ලස්සනයි. දිගින් දිගටම වන අලි සැරිසරන ප්‍රදේශයක් බව පෙන්නුම්කරන සලකුණු අපිට දකින්නත් ලැබුනා. කැලේ මැද නවත්තලා පොඩි විවේකයක් අරන් අපි ආයෙත් ගමන පටන්ගත්තා. අපේ ඊළඟ නැවතුම උනේ පොතුවිල් නගරය. පොතුවිල් හරහා ආරුගම්බේ වෙරළතීරය දක්වා අපි ගමන්කරා. මට හිතුනු විදියට එතන අපේ අද දවසේ ගමනාන්තය වෙන්න ඕනි. ඒත් ඉතින් අපේ නඩේගුරාගෙන් කිසිම පිළිතුරක් නෑ ඒ ගැන. කට්ටියම බයික්ටික එතන තිබුණු රථගාලක නවත්තලා ගියා මුහුදේ නාන්න. වතුරට බැස්සම පුදුම සනීපයක් තමයි දැනුනේ. ගමන් මහන්සියත් එක්ක කියාගන්න බැරි තරමේ සහනයක් හිතට වගේම ගතටත් දැනුනා. අපි පැය දෙකකට ආසන්න කාලයක් මුහුදේ සෙල්ලම් කරමින් ගතකරලා තිබුණුබව තේරුනේ ගොඩට ඇවිත් වෙලාව බැලුවම තමයි.

WhatsApp Image 2022-05-01 at 12.32.18 PM.jpeg

දැන්නම් යකෙක් කන්න තරම් බඩගිනි උනත් කන්න යකෙක් හිටියේ නැතිනිසා අපි කඩේකින් දවල් ආහාරය ගන්න තීරණය කරා. මං කලින් හිතපු ගමනාන්තය ගැන උපකල්පනය වැරද්දක් බව තේරුම් ගියේ දවල් කෑමෙන් පස්සේ අපිට තවත් දුර යෑමට තිබෙන බවට අපේ නඩේගුරා විසින් සිදුකරපු ප්‍රකාශයත් එක්ක. අපිට රැය පහන් කිරීමට අවශ්‍ය ආහාර පාන සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් අපි පොතුවිල් නගරයෙන් මිලදී ගත්තා. ඒ දේවලුත් එක්ක අපි රැගෙනයන භාණ්ඩවල බර දෙගුණයක් උනා කීවොත් නිවැරදියි. පානීය ජලය බෝතල් තොගය දැක්කම පැහැදිලි උනේ අපේ කඳවුරු භූමියේ පානීය ජලය නොමැති තැනක් කියන එකයි. ඉතින් ඒ කොහෙද කියන විස්තරෙත් එක්ක අපි තවත් කොටසකින් ළඟදීම හමුවෙමු.

Sort:  

කෑම එක කාලා ඉවරවෙද්දීම එක යාලුවෙකුට කෑම එකේ තිබිලා මැස්සෙක් හම්බුනු එක ඇරෙන්න වෙන කිසිම වරදක්නම් තිබුනේ නැහැ 😂😂 .

එහෙනම් කෑම එකේ ගාන ටිකක් වැඩි ඇති නේද.😂🙊

කෑම ප්ලේට් ටිකකට සල්ලි ගත්තේ නෑ ඒ හින්දා....

Aiyoo kama eke massek hitiyada... hikz.

ඔව්නේ... අවුලක් නෑ.. රසේ වෙනසක් නෑ

මොණරාගල ඇවිත්😁

ඔව් ඔව්... ඒ පැත්තේ ආවා...

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 71249.51
ETH 3815.45
USDT 1.00
SBD 3.41