ඔයා ජීවිතේ විඳින කෙනෙක් ද විඳවන කෙනෙක් ද?


WhatsApp Image 2026-07-01 at 4.32.22 PM.jpeg
Source

අපි ජීවත් වෙන වටපිටාව දැන් හරිම සද්ද බද්ද වැඩි තැනක්. කොහේ ගියත් වාහන සද්ද, ෆෝන් එකේ නොටිෆිකේෂන් ටෝන්, මිනිස්සුන්ගේ කතා සද්ද එහෙමත් නැත්නම් ඔළුව අස්සේ තියෙන දහසක් ප්‍රශ්න. උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකම්ම අපේ වටපිටාව මොනවා හරි සද්දෙකින් පිරිලා. හැබැයි මේ හැම සද්දෙකටම වඩා ලස්සනම ලස්සන සද්දයක් තියෙනවා. ඒ තමයි නිශ්ශබ්දතාවය. ඔයා කවදා හරි කිසිම සද්දයක් නැති හුදකලා තැනක විනාඩි දහයක් විතර තනියම ඉදලා තියෙනවා ද?

​ගොඩක් අය හිතන්නේ තනියම ඉන්න එක නිහඬව ඉන්න එක පාලුවක් කියලා. හැබැයි ඇත්තටම තමන්ගේම හුස්ම සද්දේ ඇහෙන තරමට නිහඬ වෙන මොහොතක් කියන්නේ තමන්ට තමන්වම මුණගැහෙන වෙලාව. අපි අනුන්ව සතුටු කරන්න අනුන්ට පේන්න ලෝකයත් එක්ක තරඟ කරන්න දුවන දිවිල්ල නතර වෙන්නේ මේ නිහඬ මොහොතේදී. ඒ වෙලාවට තමයි අපිට ඇත්තටම අපිව මුනගැහෙන්නේ.


WhatsApp Image 2026-07-02 at 8.29.58 AM.jpeg
Source


ලෝකයේ තියෙන ලස්සනම සංගීතය ඇහෙන්නේ මුළු ලෝකයම නිහඬ වුණු මොහොතකයි. මහා වැස්සක් වහින වෙලාවට කිසිම වැඩක් නොකර ජනේලයෙන් එළිය බලාගෙන ඉන්න එක හිතට කොච්චර සහනයක් දැනෙනවාද? රෑට හැමෝම නිදාගත්තට පස්සේ කාමරේ ලයිට් එක නිවලා ඇස් දෙක පියාගෙන ඉන්න ඒ පුංචි වෙලාව මුළු දවසෙම මහන්සිය නිමලා දානවා. ඒ වගේම කිසිම කතාවක් නැතුව ෆෝන් එකක් දිහා බලන්නේ නැතුව හීන් හුළඟක් වදින තැනකට වෙලා බොන තේ උගුරක තියෙන්නේ වෙනස්ම විදිහේ රසක්.

​අද රෑට පුළුවන් නම් ඔයා මේක කරලා බලන්න. ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකින් තියන්න. ඊටපස්සේ ගෙදර මිදුලට හරි බැල්කනියට හරි ගිහින් අහස දිහා බලාගෙන විනාඩි පහක් විතර ඉන්න. වටපිටින් ඇහෙන පොඩි පොඩි සද්ද වලට විතරක් කන් දෙන්න. ඔයාට එතකොට ඔයාගෙ ඔළුවෙ තිබුණ බර ටික ටික අඩු වෙලා හරිම නිදහසක් දැනෙන්න ගනියි.
​සමහර වෙලාවට අපිට ඕන කරන්නේ හැම දේකින්ම අයින් වෙලා නිදහසේ ඉන්න. ඉතින් හීන පස්සේ දුවන මේ කාර්‍යබහුල ජීවිතෙන් දවසකට විනාඩි පහක් ඔයාගේ නිදහස වෙනුවෙන් වෙන් කරන්න පුරුදු වෙන්න.


WhatsApp Image 2026-07-01 at 4.33.23 PM.jpeg
Source

අද උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් මේ වෙනකම් ගතවුණු කාලය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි දුවන්නේ ලොකු ඉලක්ක පස්සේ වෙන්න ඇති. හැබැයි ඒ දිවිල්ල අස්සේ අපිට ජීවිතේ ඇත්තම සතුට දෙන පුංචි පුංචි දේවල් කීයක් නම් මගහැරෙනවා ඇත්ද? අපි හැමෝම ජීවිතයේ බලාපොරොත්තු වෙන්නේ ලොකු ලොකු හීන පස්සේ දුවලා ලැබෙන සතුට. මාත් එහෙමයි. පොඩි කාලෙ ඉදලා ඉගෙන ගන්නවා, විභාග පාස් වෙනවා, කැම්පස් යනවා, ජොබ් කරනවා, සල්ලි හම්බ කරනවා හැබැයි ඒ සතුට තාවකාලිකයි. ඇත්තම සතුට හැංගිලා තියෙන්නේ අපි නොහිතන තරම් සරල තැන්වල.
අපිට නොදැනුවත්වම මගහැරිලා යන සතුට හැංගිලා තියෙන ඒ පුංචි තැන් මොනවාද කියලා ඔයා දන්නවා ද?
පාන්දරින්ම කුස්සියෙන් එන හදපු තේ කෝප්පයක සුවඳ, නිදහසේ බොන කෝපි උගුරක් මුළු දවසම ලස්සන කරන්න පුළුවන්. බස් එකේ යනකොට හරි රේඩියෝ එකෙන් හරි ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක් අහම්බෙන් ඇහෙද්දී හිත අතීතයට පාවෙලා යන ඒ හැඟීම කොච්චර සුන්දර ද? පාරේ යද්දී හම්බෙන පුංචි බබෙක් දෙන ලස්සන හිනාව නැත්නම් යාළුවෙක් එක්ක පරණ මතකයක් මතක් කරලා හිනාවෙන එක මොනතරම් නිදහසක්ද? තමන් හැදුව මොකක් හරි පළතුරු පැලේක ගෙඩියක්, එළවළු පැලේක කරලක්, එහෙම නැත්තන් තමන් අතින් හැදුව මල් පැලේක පිපිලා තියෙන ලස්සන මලක් දිහා මොහොතක් බලන් ඉන්න එක හිතට කොච්චර සහනයක් ද?
දවස තිස්සේ මහන්සි වෙලා ගෙදර ඇවිත් මූණ කට හෝදගෙන හවස හමාගෙන එන හුළඟ වදින්න ඉන්න ඒ විනාඩි පහ කොච්චර සුන්දර ද? ජීවිතය කියන්නේ අපි ගත කරන දවස් ගාණට නෙවෙයි අපිට ඇත්තටම සතුට දැනුණු මොහොතවල් වල එකතුවට.


WhatsApp Image 2026-07-01 at 4.31.43 PM.jpeg
Source

ඇයි අපි මේවා මගහරින්නේ?
අපි හිතන්නේ මං සල්ලි හම්බ කරපු දවසට සතුටින් ඉන්නවා, ඒ දවසට නිදහසේ ඉන්නවා කියලා හිතලා අපි වර්තමානය මගහරිනවා. හැබැයි ඇත්තම කතාව අතීතය ඉවරයි අනාගතය තවම ඇවිත් නැහැ. අපිට අයිති එකම දේ මේ දැන් ගතවන මොහොත විතරයි.
ජීවිතය කියන්නේ විදවන්න ඕන දෙයක් නෙවෙයි සරලව විඳින්න ඕන දෙයක්. ලොකු ලොකු හීන පස්සේ දුවන ගමන් ජීවිතය ලස්සන කරන මේ පුංචි පුංචි දේවල් අතහැරගන්න එපා. එතකොට ඔයාටත් ඔයාගෙ ජීවිතේ විදිනවා කියලා දැනෙයි.

Sort:  

ඇත්ත. පුංචි පුංචි දේවල් අපිව සතුටෙන් තියනවා